Monday, November 2, 2015

බිබිල මහජන පුස්තකාලය - PUBLIC LIBRARY BIBILE

බිබිල මහජන පුස්තකාල වෙබ් අඩවිය වෙත 

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු...!!!  

 

 




පුස්තකාලයේ පිහිටීම

           පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාශයේ “බිබිල” නම් වන රමණීය පුරවරය පිහිටා ඇත. 1818 ඉංග්‍රීසින් හා ඇති වුන කැරැල්ලට පණ දුන් විරෝධාර, විරුවන් වූ කොහු කුඹුරේ රටේ රාල, මීගහ පිටිය බෝගහ ගෙදර රාල, කිවුලේ ගෙදර මොහොට්ටාල ආදී විරුවන් බිහිවී ඇත්තේ ද බිබිල පුරවරයෙනි. එමෙන්ම ලංකාවට වැදගත් වූ ඖෂධීය ප්‍රතිපත්තිය සැකසු මහාචාර්ය සේනක බිබිලේ මහතා ද කුරුල්ලන් පිලිබඳ විවිධ පර්යේෂණ කරමින් ඒ පිලිබඳ ලෝකයා දැනුවත් කිරීමට පොත් පල කළ සරත් කොටගම මහතා ආදී මහාචාර්යවරු බිබිලෙන් බිහිවීම බිබිලේ ජනතාවට ඇත්තේ ඇති මහත් ආඩම්බරයකි.
                   මතකයට නැගෙන තවත් වැදගත් කරුණක් නම් ඈත පුරාණයේ සිටම දොඩම් වගාවට ප්‍රසිද්ධියක් තිබීමත්, සරුවට දොඩම් වගාව සිදුකර ඇත්තේ ද බිබිල නම වූ සශ්‍රික ප්‍රදේශයේය. ස්වාභාවික වනාන්තරද ඖෂධීය ශාක වලින් ගහනය වූ නිල්ගල වනාන්තරයද ස්වාභාවික ජල උල්පත් වලින්, වතුර බුබුළු වලින් පෝෂනය වූ රමණිය මනරම් පරිසරයකට උරුමකම් ඇති ප්‍රදේශයකි බිබිල.
                   බිබිල ට “බිබිල” යැයි නම් ලැබී ඇත්තේද මෙහි තැන තැන කිසිදා නොසිදෙන වතුර බුබුල් රාශියක් තිබීම නිසා යැයි පැරණි පොත් පත් වල මෙන්ම  ජන වහරේ කියවේ.එනිසා “බුබුල” ..බුබුල කියා  ව්‍යවහාර වූ අතර එය ව්‍යවහාරයට ඇති අපහසුව නිසා “බිබිල” කියා ව්‍යාවහාරයට පහසුවන අයුරින් නම් වී යැයි කියවේ.
                    කෘෂි කර්මාන්තයට උචිත දේශගුණයක් පවතින බැවින් ගොඩ මඩ කෘෂි කර්මාන්තය ඉතා සශී‍්‍රකව කෙරේ. වෙල් ලක්ෂයක් පිහිටීම මත වෙල්ලස්සට උරුමකම් කීමෙන් කෘෂි ආර්ථිකයක් මත, වී , ඉරිගු,ගම්මිරිස්,පොල්,රබර්, එළවළු වගාවන් තුලින් ජීවනෝපාය සිදු කරගනිති. මෙහි 44000  ක් පමණ ජනගහනයක් වෙසෙන අතර බහුතරය 94% ක් පමණ සිංහල බෞද්ධාගමිකයන්ය.දෙමළ මුස්ලිම් සුළු ජාතිකයන් ද ජිවත් වෙති. මෙසේ ඓතිහාසික වැදගත් කම් රාශියකින් යුතු බිබිල නගරයේ බිබිල ප්‍රාදේශීය සභාවට යාබද ශ්‍රී රේවත මාවතේ බිබිල මහජන පුස්තකාලය ඇත. 

 

පුස්තකාලයේ ආරම්භය  

                    බිබිල නම් වන ඓතිහාසික පුරවරයේ එවකට වෑගම්පත්තු නිල්ගල ගම් සභාව යටතේ 1967 මෙම පුස්තකාලය ආරම්භවී ඇත.  1967.12.08 දින පුස්තකාලයට ලබා ගත් මුල්ම පොත පරිග්‍රහණ අංක 01 යටතේ ලේඛන ගත කර ඇති අතර 1968.01.08 දින පුස්තකාලයේ මුල්ම සාමාජිකයා ලෙස ඩි. කුලප්පුවඩු මහතා ලෙස ලියාපදිංචි කර ඇත. 
 

 

පුස්තකාලයේ ඉතිහාසය  

            1957 – 1967 අතර කාලයේ වෑගම්පත්තු නිල්ගල ගම්සභාව යටතේ ගම්සභා ගරු සභාපති ලෙස කටුයුතු කල එල් . එච් ඇන්ඩර්සන් සිල්වා මහතාගේ කාලයේ මෙම පුස්තකාලය පිහිටුවීමේ අඩිතාලම වැටී 1967- 1968 කාලය තුල ශ්‍රී.නි. පක්ෂයේ ගරු සභාපති ලෙස කටයුතු කල ජී.එච්. අමරපාල මහතාගේ කාලයේ එනම් 1967 දෙසැම්බර් මෙම පුස්තකාලය ඇරඹීඇත.  1968 – 1970 අතර කාලය තුල ගම් සභා සභාපති ලෙස කටයුතු කල එ.ජා .පක්ෂයේ  නිමල් සෙනරත් බණ්ඩාර මහතා යටතේ පාලනය වී ඇත. ඉන්පසුව 1970 – 1977 කාලය තුල ශ්‍රී.නි.ප යේ ජී.එච්. අමරපාල මහතා නැවතත් ගම්සභා සභාපති ලෙස පාලන කටයුතු සිදු කරන ලද අතර ඒ සභාව යටතේ පාලනය විය.      1977 – 1981 අතර කාලයේ විශේෂ කොමසාරිස් පාලනය යටතේ කටයුතු කල වෛද්‍ය සිව රාජා මහතා යටතේ පාලනය වී ඇත.

           ඉන්පසුව 1982 – 1988 අතර තුර කාලයේ මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන සභා ඇරඹීමෙන් පසු බිබිල අංක 09 උප කාර්යාලය යටතේ බලයලත් නිලධාරි පාලනයේ පැවතිණි. ඉන්පසුව 1988 වන විට වත්මන් පළාත් පාලන ආයතන වන ප්‍රාදේශීය සභා ක්‍රමය ඇරඹී බිබිල ප්‍රාදේශීය සභා ගරු සභාපති ලෙස  ජේ.ඒ. සෙනවිරත්න බණ්ඩා මහතා පත්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.
                1991 දී පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගරු සභාපති ලෙස ඒ.එම්. ගුණසේකර මහතා පත්වීමෙන් ඒ සභාව යටතේ පාලනය් වී ඇත. අනතුරුව 1997 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රාදේශීය සභා ගරු සභාපති ලෙස විජිත බේරුගොඩ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තේරී පත්වී ඇත.
               එම සභාපති තුමාගේ කාලයේ, එතුමාගේ බලවත් උත්සාහය මත මෙම පුස්තකාලයේ ඉදිරි සංවර්ධන කටයුතු බොහොමයක් සිදුවී ඇත. සභාපති ලෙස කටයුතු කල විජිත බේරුගොඩ මහතා 1999 ඌව පළාත් සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමත් සමග උප සභාපති ලෙස සිටි එස් .ඒ .එම් චන්ද්‍රසේකර බණ්ඩා මහතා බිබිල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර පුස්තකාලයේ පාලනය ඒ යටතේ විය 2002.03.20 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා ගරු සභාපති ලෙස රංජිත් අබේරත්න මහතා පත්වී එම සභාව යටතේ පාලනය සිදුවිය. ඉන්පසුව 2006.03.30 පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් පක්ෂය මෙහෙයවමින් ගරු සභාපති ලෙස සුදුනිලමේ අත්තනායක මහතා තේරී පත්වීමෙන් පසු එම සභාව යටතේ පාලනය විය.
             පසුව 2011.03.26 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා සභාපති ලෙස එස්.ඒ.එම් චන්ද්‍රසේකර බණ්ඩා මහතා නැවතත් තේරී පත්වූ අතර පුස්තකාලයේ වත්මන් පාලනය එම සභාව යටතේ සිදුවේ. ප්‍රාදේශීය සභාව යටතේ ඇති ආයුර්වේදය,ළදරු පාසැල්,කොටගම පුස්තකාලය ආදී ආයතන අතුරෙන් ඉතා අගනා සේවයක් මෙම පුස්තකාලය මගින් සැලසෙන බව කිවයුතුය ඉහතින් සඳහන් කල සභාපති වරුන් හා ඒ ඒ සභා කාලයන්හි පුස්තකාලයේ දියුණුවට අවශ්‍ය කටයුතු සිදුවූ බවද කිව යුතුම වේ.
                          මෙලෙස ගම් සභා යටතේ මෙම පුස්තකාලය ආරම්භවී, ගම්සභා යටතේද, මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාව යටතේද  පාලනය වෙමින්, වර්ධනය වෙමින් 2015 වර්ෂය වනවිට පුස්තකාලය 47 වන වියට පියනගා ඇත. පුස්තකාලයේ ආරම්භයේ සිට 2001 වර්ෂය වන විට පුස්තකාලයාධිපති වරුන් 6 දෙනෙකු සේවය කර ඇත. 2001 වර්ෂය දක්වාම පුස්තකාලය පවත්වාගෙන යනු ලැබුවේ බිබිල ප්‍රාදේශීය සභාව සතු කුඩා ඉඩ ප්‍රමාණයකින් යුත් කාමර දෙකකය. වත්මන් පුස්තකාලයාධිපති ආර්.ඇම් .පේමාවතී මිය මෙහි සේවයට පැමිණියේ 2001 ජුනි මාසයේය.
                               1997 සභාවට තේරීපත් වූ ගරු සභාපති විජිත බේරුගොඩ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාගේ කාලයේ එතුමාගේ බලවත් උත්සහය මත නව පුස්තකාල ගොඩනැගිල්ල ලබා ගෙන ඇත.

 

පුස්තකාලයේ වත්මන් දියුණුව හා නවීකරණය 

             විජිත බේරුගොඩ මැතිතුමාගේ බලවත් උත්සාහය මත බිබිල ප්‍රාදේශීය සභාවට ලබාගත් නව දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය තොරතුරු මධ්‍යස්ථානයක් ලෙසට බිබිල ප්‍රදේශයේ ජනතාවගේ සහ පාසැල් දරු දැරියන්ගේ අධ්‍යාපනික සංස්කෘතික හා සාමජීයත්වය නංවාලීම ප්‍රධාන අරමුණු පෙරදැරිකරගෙන මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශය යටතේ උඩරට ගැමි පුනුරුත්තාපන දෙපාර්තමේන්තුව යටතේ ජපන් ප්‍රතිපර්ශ්විය 2K.R. අරමුදල යටතේ මුල්‍ය අනුග්‍රහයෙන් ඌව පළාත් සභා ඉංජිනේරු සේවා දෙපාර්තුමේන්තුවෙන් ඉදිකිරීම් කටයුතු

කරන ලදී . ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා වැයකල මුදල රු. 7500000.00 කි. මෙහි වැඩ ආරම්භ කල දිනය 2001.08.15 වන දින වන අතර වැඩ අවසන් කල දිනය 2002.02.25 වන දින වේ.
          
             මෙලෙස තනන ලද ගොඩනැගිල්ල, බිබිල ප්‍රදේශයට තිබූ එක් විශාල අඩුපාඩුවක් සම්පුර්ණ කරමින්, 2002.04.24 දින මෙම දැනුම්, තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට, පාඨක අයිතියට නතුකර විවෘත කරන ලදී. මෙහි වැඩ ආරම්භ කරනවිට පුස්තකාලයේ සේවයේ යෙදුනේ, පුස්තකාලයාධිපති  ආර්.ඇම්. පේමවතී මිය හා පුස්තකාල සහායක කේ.ඇම්. කරුණාවතී මිය පමණි.

             වර්ග අඩි 2678 කින් යුතු දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ලට පිවිසෙනවිට 5500 කින් යුතු වූ පොත් සංඛ්‍යාව 2015 මාර්තු මාසය වනවිට 14401 දක්වාත්, 1765 ක් වූ ලියාපදිංචි සාමාජික සංඛ්‍යව 4026 දක්වාත් වැඩිකරගත හැකිවූයේ පුස්තකාලය දියුණු මාවතක ගමන් කරන බවට සාධකයක් ලෙසය. තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස පවත්වාගෙන ආ මෙම පුස්තකාලය  දෙවැනි ශ්‍රේණියේ පුස්තකාලයකට අවශ්‍ය සුදුසුකම් සියල්ල සම්පුර්ණ කර ගැනීමෙන් පසු 2 ශ්‍රේණියට ශ්‍රේණිගත කර ගත හැකිවිය .
         

                 2015 වන විට සේවා පුළුල් කර අංශ වෙන වෙනම පවත්වා වඩාත් පුළුල් සේවාවක් සැපයීමට අවශ්‍ය කටයුතු කර ඇත.

            


සංරක්ෂණ ක්‍රම භාවිතය  

පුස්තකාලයේ දිනපතාම පිරිසිදුකිරීම් කටයුතු කරනු ලැබේ. පොත් රාක්ක, සඟරා රාක්ක, ආදී ලී බඩු උපකරණ ආදී යේ නිතර දූවිලි පිස දමා පිරිසිදු කෙරේ. පොත්වලට අලාභහානි කරන්නාවූ කැරපොත්තන්, කාවුන්, වෙයන්,මියන්,ආදී සතුන්ගෙන් මෙම පුස්තකාලයේ පොත්වලට හානියක් සිදු නොවේ. හිරු එලිය සෘජුව පොත් වලට පතිත වන ලෙස රාක්ක තබා පොත් අසුරා නොමැත. පාඨකයන් පොත් බැහැර ගෙන යාමේදී ඔවුන් අතින් පොත්වලට සිදුවන හානි අවම කරගැනීමට ඔවුන් නිතර නිතර දැනුවත් කෙරේ. එනිසා පාඨකයන්ගෙන් පොත් වලට වන හානි අවම මට්ටමක ඇත.


පුස්තකාලය පාලනය වන ආයතන


            වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ ඌව පළාත් සභාව යටතේ බිබිල ප්‍රාදේශීය සභාව මගින් මෙම පුස්තකාලය පවත්වාගෙන යනු ලැබේ. පුස්තකාලයේ මුල්‍යමය කටයුතු සියල්ලම හා නඩත්තු කටයුතු ප්‍රාදේශීය සභාව යටතේ සිදුවේ. ප්‍රාදේශීය සභාව යටතේ පොත් වැනි සියලුම දැනුම් ද්‍රව්‍ය ලබාගැනීම, ලී බඩු උපකරණ ආදී ද්‍රව්‍ය ලබාගැනීම ආදී සියලු කටයුතු බිබිල ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ. පුස්තකාලයේ පොත්, පුවත්පත් ලබා ගැනීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරේ. මෙයට අමතරව පළාත් පාලන ආධාර මතද පුස්තකාලයේ සංවර්ධන කටයුතු කරනු ලැබේ. මීට අමතරව 2015 වර්ෂය සඳහා පුස්තකාලයට අය වැයෙන් විශාල  මුදල් වෙන්කර ඇත.


 පුස්තකාලයේ සාමාජිකත්වය ලබාදීම

පුස්තකාලයේ සාමාජිකත්වය  ලබාගැනීම අත්‍යවශ්‍ය වන්නේ බැහැර දෙන අංශයෙන් පොත් බැහැර ගෙන යෑම සඳහා පමණි. පුස්තකාලයේ සාමාජිකත්වය ලබාදීම පහත අයුරු සිදුකරනු ලැබේ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි පාසැල් ළමුන්ට රු 50.00 ක. තැන්පත් මුදල් අයකිරීමෙන් හා ස්ථිර පදිංචි වැඩිහිටියන් රු 150.00 ක. තැන්පත් මුදලක් අයකිරීමෙන් පුස්තකාලයේ ඇති සාමාජික අයදුම්පත සම්පුරණ කර  ඉදිරිපත් කිරීමෙන් සාමාජිකත්වය ලබාගත හැකිය. ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිය තහවුරු කල නොහැකි, බාහිර පදිංචිකරුවන් රු 1150.00 ක තැන්පත් මුදලක් තැබීමෙන් වෙනත් ප්‍රදේශවල පදිංචි අයට ද මෙහි සාමාජිකත්වය 

ලබා ගතහැකිය.

                     මෙලස කුමන අයුරකින් හෝ සාමාජිකත්වය ලබාගන්නා අයට එක් සාමාජික කාඩ්පතක් නිකුත් කරන අතර බැහැර ගෙනයෑමට එක් පොතක් සති දෙකක කාලයකට නිකුත් කරනු ලැබේ. පොත  භාර දීම ප්‍රමාද කිරීමේදී ප්‍රමාද වන එක් දිනකට සත පනහ බැගින් ප්‍රමාද ගාස්තු අය කෙරේ.

  පුස්තකාලයට පොත් ලබා ගන්නා ක්‍රම 

ප්‍රාදේශීය සභාව පුස්තකාලයට වෙන්කරන මුදල් ප්‍රතිපාදන වලින් පොත් ලබා ගැනේ. පළාත් පාලන ආධාර මත ලබාදෙන ප්‍රතිපාදන වලින් පොත් ලබාගැනේ. එමෙන්ම පරිත්‍යාගශීලී පුද්ගලයන් පරිත්‍යාග කරන පොත් ලබාගැනේ. තවද පරිත්‍යාගශීලි ආයතන මගින් ලබාදෙන පොත් පුස්තකාලයට ලබා ගනු ලැබේ. 


පුස්තකාලය විවෘතව තබන දින හා වෙලාව

    සතියේ දින හතම පුස්තකාලය පෙ.ව 8.00 සිට ප.ව 16.45 දක්වා විවෘතව තැබෙන අතර රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින පමණක් පුස්තකාලය වසනු ලැබේ. පුස්තකාලයේ ඇති සෑම අංශයක්ම සෑමදිනම විවෘතව තබන අතර සතියකට පැය 63 ක සේවාවක් සැලසේ.  


පුස්තකාලය ශ්‍රේණිගත කිරීම


2008.12.10 දක්වා මෙම පුස්තකාලය ක්‍රියාත්මක වුයේ 3 වන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙසටය. පුස්තකාලයධිපති ආර්.ඇම් පේමාවතී වන මාගේ බලවත් උත්සාහය මත මෙම පුස්තකාලය 2008.12.11 දින සිට 2 වන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස ශ්‍රේණිගත කරවා ගැනීමට හැකිවිය ඒ අනුව දැනට මෙම පුස්තකාලයේ දෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස ක්‍රියාත්මක අතර පුස්තකාලයේ ශ්‍රේණියට අදාලව 2 වන ශ්‍රේණියේ පුස්තකාලයාධිපතිනියක් ලෙස මා සේවයේ යෙදෙමි. 2 වෙනි ශ්‍රේණියේ පුස්තකාලයකට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කරගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට මට සිදුවිය. 

පුස්තකාලයේ ක්‍රියාත්මකවන අංශ


Ø බැහැර  දෙන අංශය
Ø පුවත් පත් හා සඟරා
Ø විමර්ශන අංශය
Ø ළමා අංශය
Ø සෞඛ්‍ය සේවා අංශය
Ø ප්‍රජා තොරතුරු සේවා අංශය
Ø විශ්ව දැනුම් පියස
Ø පුවත්පත් ලිපි කැපුම් සේවා අංශය - දුර්ලභ එකතු සේවා අංශය
Ø ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා
Ø ප්‍රදේශයට අනන්‍ය තොරතුරු සේවා අංශය
Ø රාජ්‍ය සේවා නිලධාරින්ට පමණක් අවශ්‍ය තොරතුරු හා රාජ්‍ය ආයතන මුල්‍ය තොරතුරු හා වාර්තා එකතු අඩංගු සේවා අංශය                                   

                 

             පුස්තකාලයේ ක්‍රියාත්මක අංශ මෙන්ම බාහිර පරිසරය ඉතා අලංකරනය ලෙස සකස් කර ඇත. පුස්තකාලය අවට පරිසරයද අභ්‍යන්තර පරිසරයද මනා ලෙස පිලියල කර ඇත. අංශ සංවිධානයේ දී ප්‍රමාණවත් උපකරණ, ලී බඩු, ප්‍රමාණවත් ලෙස ඇත. සියලු  අංශ පරිහරණයට දිනකට විශාල පිරිසක් පුස්තකාලයට පැමිණේ.



බැහැර දෙන අංශය - සාමාජිකයන් සඳහා (4)

           


 

බැහැර දෙන අංශයේ කටයුතු, පොත් බැහැරදීම නිත්‍යානුකකූල ලෙස සාමාජිකයන් බදවා ගැනීමෙන් පසු කාඩ් ක්‍රමය හෙවත් බ්‍රවුන් ක්‍රමය යටතේ පොත් බැහැර දීම කරනු ලැබේ. සංඛ්‍යා ලේඛන අවශ්‍යතාවයනට  දෛනිකව බැහැර දෙන පොත් බැහැර දීමේ ලේඛනයක පරිග්‍රහන අංක අනුපිළිවෙලට ලේඛනයක් පවත්වාගෙන යනු ලැබේ.   


පුවත් පත් සඟරා අංශය (5)


 

 

 

 
පුවත්පත් අංශයේ සෑම අංශයකටම, සෑම කෙනෙකුටම අවශ්‍ය පුවත්පත් මෙහි ඇත. දිනපතා ප්‍රවෘත්ති පත්‍ර, අධ්‍යාපනික පුවත්පත්, කාන්තා පුවත්පත්,ළමා පුවත්පත්,ජෝතිෂය පුවත්පත්, යෞවනයන්ට අවශ්‍ය තරුණයා පුවත්පත, බෞද්ධාගාමික පුවත්පත්, සති අන්ත ඉරිදා පුවත් පත් ආදී සෑම අයෙකුටම පාහේ අවශ්‍ය පුවත්පත් පුස්තකාලයට ලබාගනී.මීට අමතරව පුවත්පත් සමග පලවන අතිරේක පුවත්පත්ද ගොනුකර පාඨකයාට බැලීමට තබා ඇත.    



ළමා අංශය (11)  






මනාව පිළියෙල කරන ලද අංශයක් ළමා අංශයට ඇත. මෙමගින් ළමයින්ට පොත් බැහැර ගෙන යෑමට,ළමයින්ට පුස්තකාලය තුලදී ළමා පොත්, පුවත්පත් කියවීමට පහසුකම් සලසා ඇත. ළමා අංශයේ බැහැරදීම් කටයුතු වෙනම පවත්වාගෙන යනු ලැබේ, ළමා අංශයට අවශ්‍ය ලී බඩු උපකරණද ප්‍රමාණවත් ලෙස ඇත.


විමර්ශන අංශය /කියවීම් අංශය (9)


 



                               විමර්ශනය කිරීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන විශ්වකෝෂ,ශබ්දකෝෂ,සිතියම්,ගැසිටියර් වැනි කෘතීන් ඇත. විමර්ශනය කිරීමට, පහසුකම් සපයා ඇත. ඒ සඳහා අවශ්‍ය ලී බඩු උපකරණ ආදියද ප්‍රමාණවත් ලෙස ඇත.
                                     
   සසිරි පියස - පුවත් පත් ලිපි කැපුම් එකතූන් (14)
                                                                                       
  






පුවත්පත් වල පලවන සෑම වැදගත් ලිපියක්ම එක් කර ඒවා ඒ ඒ විෂයට අදාලව පොත් වශයෙන් පිළියෙළ කර පරිහරණයට තබා ඇත. මෙහිදී පාසැල් අධ්‍යාපනය හදාරන විශේෂයෙන් උසස් පෙල සිසුන්ට තම කේවල ව්‍යාපෘති සැකසීමට අදාල තොරතුරු ලබා ගැනීමට ඇත. එමෙන්ම දුර්ලභ තොරතුරු එක්රැස් කර ගොනුකර, පාඨක අවශ්‍යතාවයන්ට තබා ඇත. 




සෞඛ්‍ය තොරතුරු අංශය (10) 



සෞඛ්‍ය තොරතුරු වලට අදාලව තොරතුරු එක්කර අංශය පිළියෙල කර ඇති අතර ඒවා පුස්තකාලය තුලදී අධ්‍යනය කිරීමට, දැකබලා ගැනීමට පහසුකම් සලසා ඇත. 



ප්‍රජා තොරතුරු සේවා අංශය


ප්‍රජා තොරතුරු වශයෙන් සෑම දෙනෙකුටම අවශ්‍ය වන සෑම තොරතුරක් පාහේ මෙහි එක්කර ඇත. මෙ මගින් විශාල සේවයක්  සැපයේ.



විශ්ව දැනුම් පියස (3) 




          පොත පත පරිශිලනය කිරීමෙන් ඔබ්බට දනුම ලබා දෙන මෙම සන්නිවේදන නවීන තාක්ෂණික අංශය බිබිල ප්‍රදේශයට ඇති වටිනාම සම්පතකි.මෙමගින් පොත පතින් තොරතුරු ලබා ගැනීමට නොමැති අවස්ථාවල අන්තර්ජාලය හරහා පාඨකයන්ට තොරතුරු ලබා දීම සඳහා සියලු පහසුකම් ඇත. විද්‍යුත් පුස්තකාල සේවාව ඔස්සේ (e-library) විද්‍යුත් පොත්,පුවත්පත්,සඟරා,විශ්වකෝෂ අදී තොරතුරු ගවේෂණයට පහසුකම් සලසා ඇත. එමෙන්ම බිබිල මහජන පුස්තකාලය සතු බ්ලොග් අඩවිය ඔස්සේ එනම් -
                             පාඨකයන් හට අත්‍යවශය් තොරතුරු දැන ගැනීම හා bibilepubliclibrary@gmail.com විද්‍යුත් ලිපනය ඔස්සේ සම්භන්ද වීමටද හැකිය.
              විශ්ව දනුම් පියස හරහා ද තමාගේ CD මෙහිදී අධ්‍යනය කිරීමට පහසුකම් ඇත. පරිගණක භාවිතා කිරීමට නොදන්නා අයට ඒ පිළිබඳ සාමාන්‍ය පුහුණුවක් ලබාදීමද සිදුකරනු ලබන සේවාවකිපුස්තකාලය තුල කටයුතු පහසු කර ගැනීම උදෙසා පොත් විශේෂ මෘදුකාංගයක් මගින් පරිගණක ගතකොට, විද්‍යුත් පුස්තකාල සුචිකරණ ක්‍රියාවලික් හා ස්වයංක්‍රිය කරන ක්‍රියාවලියකට කටයුතු මේ වන විට සැකසෙමින් පවතී.


ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යසේවා



රූපවාහිනී යන්ත්‍රයක් පුස්තකාලයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තොරතුරු සඳහා පාඨක අවශ්‍යතාවයන්ට ඇත.  



පුස්තකාල උපදේශක කමිටුව


උපදේශක කමිටුවක් ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගෙන් සමන්විත ව ඇත. පුස්තකාලයේ අදාල සියලුම කටයුතු උපදේශක කමිටුවේ තීරණය මත ක්‍රියාත්මක කෙරේ


පාඨක සමාජය

පාඨක සමාජයක් ඇත. සභාපති වික්ටර් මුතුකුමාර නම් වූ ගුරුවරයෙකි. ලේකම් ප්‍රීතිකා දමයන්ති නම් වූ ගුරුවරියකි. භාණ්ඩාගාරික ශිලවතී මිය නම් වේ. පාඨක සමාජයේ අනුග්‍රහයෙන් පුස්තකාලයේ විශාල අඩුවක්ව පැවති ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අංශයට රූපවාහිනී යන්ත්‍රයක් ලබා ගෙන පාඨක ප්‍රයෝජනයට තබා ඇත

             පුස්තකාල කළමනාකරණයට අදාලවද්‍රව්‍ය සංවිධානය

විධිමත්ලෙස පිළියල කර ඇති මුද්‍රිත ශිර්ෂ අඩංගු මුද්‍රිත පරිග්‍රහණ ලේඛන පවත්වාගෙන යනු ලැබේ. පුස්තකාලයට ලබාගන්නා සියලුම පොත් බිලේ අනු පිළිවෙලට සෑම පොතකටම පරිග්‍රහන අංකයක් ලබා දී පරිග්‍රහන ලේඛනයට ඇතුලත්කර ඇත. එමෙන්ම පුස්තකාලයට බාහිර පරිත්‍යාගශීලින් පරිත්‍යාග කරන පොත්ද නියමිත පරිදි පරිග්‍රහන ලේඛනයට ඇතුලත් කර ඇත.
              සියලුම පොත් - ඩි.වි දශම වර්ගීකරණයට අදාලව   වර්ගීකරණය කර වර්ග මුද්‍රාව තබා වර්ග අංක යොදා වර්ග අංක අනුපිලිවෙලට විෂය අනුව රාක්කවල අසුරා ඇත. - එමෙන්ම  පුස්තකාලයේ ඇති සියලුම පොත් සඳහා එක් එක් විෂයට වර්ණ ලේබල් අලවා පොතක් පහසුවෙන් සොයාගත හැකි ලෙස සකසා ඇත. උදාහරණයක් ලෙස - 294.3 බුද්ධාගම කොළ පාට වර්ණ ලේබලය



             පුස්තකාලයේ ප්‍රධානව ඇති අංශ වන ළමා අංශය විමර්ශන අංශය සඳහා වෙන වෙනම ප්‍රධාන පරිග්‍රහන ලේඛනයට අමතරව පරිග්‍රහන ලේඛන පවත්වාගෙන යනු ලැබේ.





         
                                 
බිබිල මහජන පුස්තකාල ගීතය ලබා ගැනීමට
(MP3) 

පුස්තකාල ගීතය - පද මාලාව
       
                       
ලකඹර පුන්සඳ මෑණිය පොත්ගුල
දැනුමෙන් දිදුලන හදවත බිබිලෙහි
නමදිමු සැමදා  නමදිමු සැමදා
මෑණි..මෑණි පොත්ගුල මෑණි //

ජනිතවූ හෙළ විරුවන් වෙල්ලස්සෙ 
ඔබගේ සෙවනින් බිහිවූවෝ
මැණිකකි දිදුලන ජිවය ඔබ වේ
බිබිලට ඇති පොත්ගුල ඔබ වේ
නමදිමු අපෙ පොත් ගුල මෑණි//

ලකඹර පුන්සඳ....................

ජාති භේද නෑ වයස භේද නෑ
ආගම් භේද ද හැම දුර හැරලා 
සියලු දනන් හට මෑණිය ඔබ වේ
නමදිමු ඔබ මෑණි නමදිමු අප මෑණි//

ලකඹර පුන්සඳ........................

දැනුමෙන් සපිරුණු පොත්ගුල මෑණි 
නමදිමු සැමදා ...නමදිමු සැමදා...
සැරදේ සැරදේ සැරදේව ...///

පද රචනය - පුස්තකාලයාධිපතිනි - 
ආර්.ඇම් පේමාවතී මිය 


තනුව - බිබිල සුමග සරසවි කලායතනාධිපති -
සුදුනිලමේ අත්තනායක මයා 

වාදනය හා ගායනය -
බිබිල සුමග සරසවි කලායතන සංගීත කණ්ඩායම 




බිබිල මහජන පුස්තකාල අත්පොත ලබා ගැනීමට
(PDF)
Download



බිබිල මහජන පුස්තකාලයේ කාර්ය මණ්ඩලය 

පුස්තකාලයාධිපති -: වී.එම්. විජයලතා මිය 



උත්තම පූජා උපහාර උළෙල 

උත්තම පූජා උපහාර උළෙලේ විශේෂ අවස්ථා 























































බිබිල මහජන පුස්තකාලය - පිරිත් පිංකම 

          බිබිල මහජන පුස්තකාලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන්            
2016  ඔක්තොම්බර කියවීම් මාසයට අදාලව
බිබිල මහජන පුස්තකාල පාඨක සමාජය හා එක්ව 
සංවිධානය කරන ලද පරිත්‍රාණ ධර්ම දේශනාවේ විශේෂ අවස්ථා 
මෙම වීඩියෝ දර්ශන මගින් නැරඹිය හැක.




 Library Mate Software

   බිබිල මහජන පුස්තකාලය සතුව ඇති         පුස්තකාල ස්‌වයංක්‍රීයකරන (Automation) මෘදුකාංගය වන             ලයිබ්රි මේට් ( Library Mate Software) මගින් කටයුතු සිදුකරනු ලබන ආකාරය පිලිබඳ කෙටි වීඩියෝ දර්ශන පෙළක්....